www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

ආදර්ශමත් දේව සේවකයාගේ හදවත

පළමු ශත වර්ෂයේ සිටි ඉතාමත් බලවත් මෙන්ම වැදගත් ස්ථානයක්ද හිමිකරගත් මිනිසෙක් වු අන්දෘවූ නමින් හැඳින්වූ ඒ දේව සේවකයා ඉතාමත් නිහතමානී මෙන්ම නිහඬ පුද්ගලයෙකු පමණක් නොව නුමුත් ප්‍රශිධියට පවා අකමැති පුද්ගලයෙකු ද වූ බවත් පෙනෙන්නේ, ඔහු ගැන වැඩි තොරතුරක් දැකීමට නොහැකිවන තරමටම ඔහු ක්‍රිස්තියානි ඉතිහාසයේ පවා සැඟවුන චරිතයක් සේ දැකීම වීමයි.

යේසුස් වහන්සේගේ ගෝලයෙකු වී සේවය කිරීමට පෙර අන්දෘව් යොහාන් බව්තිස්ත තුමාගේ ගෝලයෙක් බව බයිබලයේ ඇති වාර්තා පෙන්වාදෙයි. ඒ වාර්තා පෙන්වාදෙන අනෙක් විශේෂ කාරණය වන්නේ, යොහාන් බව්තිස්ත තුමාගේ ගෝලයන් හැටියට අන්දෘව් ගේ නම පමණක් එහි සඳහන් වී තිබීමයි. ඒ තොරතුර අන්දෘව් යොහාන් බව්තිස්ත තුමාගේ පළමු ගෝලයාද විය හැකි බවත් පෙන්වාදෙයි.

පළමුවැනි ශතවර්ෂවල පැවති යුදෙව් සංස්කෘතියට අනුව බලනකල, අනාගත වක්තෘවරයන් අනුගමනය කල ගෝලයන්ද විශේෂ පුද්ගලයන් ලෙසින් පිළිගනියි. ඒ අතර පළමු ගෝලයාට විශේෂ තැනක් හිමිවෙයි. ඉශ්රායෙල් සෙනග මාධ්‍යයේ යොහාන් බව්තිස්තට හිමිවූ ස්ථානය සාමාන්‍යය එකක් නොවන්නේ ඔහු අනාගත වක්තෘ වරයෙකු හැටියට සියලුදෙනාම පිළිගත් හේතුවයි. එසේ නම් යොහාන් බව්තිස්තගේ පළමු ගෝලයා හැටියට අන්දෘට විශේෂ පිළිගැනීමක් තිබුන බවට සැකයක් ඇති නොවෙයි.

බයිබලයේ ඇති වාර්තා වලට අනුව "අන්දෘව්" යන නාමය පළමු වරට දැකිය හැක්කේ යොහාන් බවුතිස්ත තුමා විසින් කල විශේෂ නිවේදනයක් තුලයි. "අන්න ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණන්" යනුවෙන් බව්තිස්ත තුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව සෙනගට පෙන්වාදීමෙන් අනතුරුව "අන්දෘව්ගේ නම" පළමුවරට සඳහන් වන හැටි යොහාන්ගේ සුභාරංචි පොතේ දැකිය හැකියි.

පාපය දුරුකිරීමට මොලොවට පැමිණි දෙවියන්වහන්සේගේ බැටළු පටවා යනුවෙන් සෙනගට යේසුස් වහන්සේව හඳුන්වාදී මෙන් පසුව, බව්තිස්ත තුමාද තමා වෙනුවට යේසුස් වහන්සේව අනුගමනය කරන මෙන් කල ඒ ඉල්ලීමට කීකරුව යොහාන් බවුතිස්තගේ ගෝලයන්ද යේසුස් වහන්සේ පසුපස්සේ ගියබව යොහාන්ගේ පොත වාර්තා කරයි.

"යොහාන් බව්තිස්තගේ කීම අසා, උන්වහන්සේ පස්සේ ගියාවූ දෙදෙනා ගෙන් එක්කෙනෙක් නම්, (සීමොන් පෙත්රුස් ගේ සහෝදරවූ) අන්දෘව් නොහොත් ඇන්ඩ්රූය.
. -යොහාන් 1:40

අන්දෘව් ගැන ශුභාරංචි පොත්වල ඇති වාර්තා පෙන්වාදෙන්නේ, "යොහාන් බව්තිස්තගේ කීම අසා, යේසුස් වහන්සේ අනුගමනය කළ පළමු ගෝලයන් දෙදෙනාගෙන් එක් අයෙක් ඔහු හැටියටයි. අනෙක් ගෝලයාගේ නාමය එහි සඳහන් නොවෙයි. පලමුව බව්තිස්ත තුමාගේ ගෝලයෙක්ව සිටි අන්දෘව් ඉන්පසු තම ගුරුවරයාවූ යොහාන් බව්තිස්තගේ ඉල්ලීමට කීකරුව නමක් සඳහන් නොවූ අනෙක් සගයා සමගින් යේසුස් වහන්සේ අනුගමනය කිරීමට පටන්ගත් බව යොහාන්ගේ පොතේ (1:19-51) වාර්තාවෙයි.

ඒ වාර්තාවලට අනුව බැලීමේදී යේසුස් වහන්සේ අනුගමනය කිරීමට පටන් ගත් පළමු ගෝලයන් ලෙසින් අන්දෘව් ගේ නාමය පළමු තැන හිමිකර ගනියි. ඒ ගැන ඉතිහාසමය අතින් බලද්දීද අන්දෘව් යොහාන් බව්තිස්තගේ පළමු ගෝලයා පමණක් නොව නුමුත් යේසුස් වහන්සේ අනුගමනය කිරීමට පටන් ගත් පළමු ගෝලයා ලෙසින්ද ඔහුගේ නාමය ඉතිහාස ගතවෙයි.

අවුරුදු හාරසීයක් වැනි දීර්ඝ නිහැඩියාවකින් පසු ඉශ්රායෙල් ජනතාව තුල ආත්මික පිබිදීමක් ඇති කල ඒ යොහාන් බව්තිස්ත නමැති අනාගතවක්තෘවරයා ගේ පළමු ගෝලයා ලෙසින් පමණක් නොව, නුමුත් "ලෝකයේ පාපය දුරුකරණ බැටළු පැටවාණන්" ලෙසින්ද මෙළොවට පැමිණි ඒ ක්‍රිස්තුස් නමැති "පොරොන්දුවේ මෙසායා" අනුගමනය කිරීමේදී ද "අන්දෘව් නමැති මේ පුද්ගලයා" පළමුවෙන් සිටියි.

ලෝකයේ ආකාරයට ප්‍රශිද්ධ වීමට අවශ්‍යය විශේෂ සුදුසු කම් වලින් එකක් නොව නුමුත් දෙකක්ම ඔහුට හිමි වී තිබුණත්, අලුත් ගිවිසුම තුල ලියවී ඇති වාර්තා දෙස බැලීමේදී "අන්දෘව්ගේ" චරිතය පමණක් නොව නුමුත් නාමය පවා සඳහන් වී ඇත්තේ ඔහුගේ සහෝදරයාවූ පෙත්රුස්ගේ නාමය පිටුපසින් සැඟවී ගිය සෙවනැල්ලක් ලෙසින් දැකීම සැබවින්ම පුදුමයකි.

බව්තිස්ත තුමාගේ ගෝලයෙකුද වූ අන්දෘව්ගේ ජිවිතයේ පසුබිම.

අන්දෘව්ගේ ප්‍රශිද්ධිය එසේ වැළලී යාමට හේතුවුයේ කුමක් නිසාද? යන ඒ ප්‍රශ්නය වැදගත් එකක් වන්නේ, එවිට අපට ඒ තුලින් ඔහු ගැන තොරතුරු දැනගැනීමට හැකිවන නිසායි.

එසේම අන්දෘව් යොහාන් බව්තිස්ත තුමාගේ ගෝලයෙකුද වූ බැවින් ඒ සොයාබැලීම යොහාන් බව්තිස්ත තුමාගෙන් පටන් ගැනීම ප්‍රයෝජනවත් බව පෙනෙයි.

අන්දෘව් ගැන ඇති මුල්ම වාර්තාව බයිබලයේ සඳහන් වන්නේ ඔහු පළමුවෙන්ම යොහාන් බව්තිස්ත තුමාගේ ගෝලයෙක් හැටියටයි.

යේසුස් වහන්සේගේ පැමිණීම ගැන "හඬගා කියන්නා" වශයෙන් පැමිණි යොහාන් බව්තිස්ත තුමාගේ සේවයද විශේෂ එකකි. එකළ යොහාන් බව්තිස්තගේ පණිවිඩය මිනිසුන් පිළිගත්තා පමණක් නොව නුමුත් ඔහුගේ පණිවිඩයට මිනිසුන් අවංකව ප්‍රතිචාරය දැක්වූ බවත් දැකීමට හැකිවන්නේ, දස දහස් ගණනින් මිනිසුන් ප්‍රසිද්ධියේම තමුන්ගේ පව්කාර ස්වභාවය ගැන පසුතැවිලිවී, පාපයෙන් මිදීම උදෙසා බව්තිස්ත තුමාගේ පණිවිඩය පිළිගෙන, පසුතැවිලිවීම මුල්කරගත් ඒ වතුරෙන් බව්තිස්මය ලැබීමට කීකරුවීම දැකීමයි.

එතරම් ප්‍රශිද්ධියක් තිබු යොහාන් බව්තිස්ත තුමාගේ සේවය ගැන කියවා බැලීමේදී විශේෂ කාරනාවක් මතුවෙයි, ඒ ගැන අපගේ අවධානය බොහෝවිට යොමු නොවුණත්, මෙහිදී එය අපට වැදගත් වන්නේ අන්දෘව්ව තේරුම් ගන්නා පිණිසයි.

යොහාන් බව්තිස්ත තුමා තමාව කැමැත්තෙන්ම අනුගමනය කරන සෙනග දෙස බලා, තමා පසුපස්සේ එන ඒ සෙනගට පැවසු ඉගැන්වීමද විශේෂ එකකි. තමා වෙනුවට තමාට පසුව එන තැනැන්වහන්සේ අනුගමනය කරන්න යන ඒ ඉල්ලීම යොහාන්ගේ පොත මෙසේ සටහන් තබයි.

"මට වඩා උතුම් කෙනෙක් මට පසුව එන්නේය," -(යොහාන් 1:29)

පසුතැවිලිවීමේ වතුර බව්තිස්මය තුළින් කීකරුකමේ සුදුසුකම ලබාගත් පසු ඔහුගේ ඉගැන්වීම අනුගමණය කිරීමට ඔහු වටා රොක්වූ ඒ සෙනගට ඔහු කල ඉගැන්වීම ලෙසින් පෙනෙන්නේ, "මට වඩා උතුම් කෙනෙක් මට පසුව එන්නේය" යන පණිවිඩය පමණක් නොව නුමුත් තමා වෙනුවට ඒ තැනැත්තාව අනුගමනය කරන්න යන ඉල්ලීම බවත් පැහැදිලිවම පෙනෙයි.

ඒ තුලින් මතුවූ අනෙක් පුදුමයට පත්කරවන පණිවිඩය වන්නේ, ඒ වෙනුවෙන් ඔහු විසින් ඔහුම පහත් කරගනු ලබනා ආකාරයයි. එය පවා ඔහු කරන්නේ එකල සංස්කෘතිකමය වටිනාකම පවා ගණන් නොගෙනයි.

තමා ඒ "තැනැත්තාගේ" පාවහන් වත් ගැලවීමට නොසුදුසු අයෙකු ලෙසින් ප්‍රශිද්ධියේ පැවසීම යොහාන් වැඩකාරයෙකුගේ තත්වයට ඇදදමයි. එකල සංකෘතියට අනුව වෙනත් අයෙකුගේ පාවහන් ගැලවීම ඉතාමත් පහත් ක්‍රියාවක් සේ මිනිසුන් සැලකු අතර පහත් සේවකයන් පමණක් එය කරයි.

ඒ උදාහරණය තුලින් යේසුස් වහන්සේ ඉදිරියේ තමා ඉතාමත් පහත් සේවකයෙකු බව පෙන්වාදෙමින් මිනිසුන් ඉදිරියේ තමාව පහත්කර ගැනීම යොහාන් බව්තිස්තගේ සැඟවුන ඇතුලාන්තය ගැනත් යමක් අපට එළිදරව් කරයි. ඔහු දෙවියන්වහන්සේගේ කැමැත්ත සිදුවීම දැකීමට තමාගේ තත්වය පමණක් නොව නුමුත් තමා විසින් තමාම යටත් කරගන්නා ආකාරයද දිස්වෙයි.

"මට වඩා උතුම් කෙනෙක් මට පසුව එන්නේ යැයි මා කිවේ මුන්වහන්සේ ගැනය. මක්නිසාද උන්වහන්සේ මට පළමුවෙන් සිටිසේක." (යොහාන් 1:30)

යොහාන් බව්තිස්ත යන නාමය මුලු යුදා දේශය පුරා පැතිර යමින් ඔහුගේ සේවය ප්‍රශිද්ධියට පත්වෙද්දී; "මට වඩා උතුම් කෙනෙක් මට පසුව එන්නේ යැයි, මා කිවේ මුන්වහන්සේ ගැනය. මක්නිසාද උන්වහන්සේ මට පළමුවෙන් සිටිසේක, ඔහුව අනුගමනය කරන්න". යනුවෙන් මිනිසුන්ට උන්වහන්සේව හඳුන්වාදෙමින් යේසුස් වහන්සේ ගේ සෙවනැලි පිටුපසින් තමාම තමාව සැඟවී යාමට ඉඩසලසා ගැනීම යොහාන් බව්තිස්ත තුමාගේ ජිවිතයෙන් පවා සිදුවූ බව බයිබලයේ ඇති වාර්තා පෙන්වයි.

අන්දෘව්ගේ ජීවිතය පිටුපසින් ක්‍රියාවට නැගුන නුමුත් අප නොදුටු විශේෂ ලක්ෂණ.

1. අන්දෘව් තම ගුරුතුමා වූ යොහාන් බව්තිස්ත තුමා මෙන් තමාද තමාගේම අයිතිවාසිකම පවා වෙනත් අයෙකුට ලබාදෙමින්, අනෙකා තමන්ට වඩා උතුම් කොට සලකමින්, තමුන්ගේ දියුණුවට වඩා අනෙකාගේ දියුණුව ගැන උනන්දුව, තමාගේ දියුණුව සහ ප්‍රශිද්ධිය පහත වැටෙද්දී ඒ අයගේ දියුණුව දෙස නිහඬව බලා සතුටුවීමට ඉගෙනගත් මිනිසෙක් බව පැහැදිලිව පෙනෙයි.

අනෙක් ගෝලයා ගේ නාමය ගැන සඳහන් විමක් දැකීමට නොහැකි වුවත් බව්තිස්තගේ ඉල්ලීමට කීකරුව යේසුස් වහන්සේ පසුපස ගිය අන්දෘව්ගේ පළමු ක්‍රියාව බයිබලයේ මෙසේ සඳහන් වෙයි.

"යේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පස්සේ එනවා දැක,
නුඹලා සොයන්නේ කුමක් දැයි ඔවුන්ගෙන් ඇසු සේක.
ඔව්හුද රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතනදැයි? ඇසුවෝය.
ඇවිත් බලන්නයි යේසුස් වහන්සේ ඔවුන්ට කීවෝය.
එවිට උන්වහන්සේ පස්සේ ගොස් ඔවුන් උන්වහන්සේ සිටින තැන දැක, වේලාව සයවැනි පැය පමණ වූ බැවින් එදින උන්වහන්සේ සමග නැවතුනෝය.
යොහාන් බව්තිස්තගේ කීම අසා උන්වහන්සේ පස්සේ ගියාවූ දෙදෙනාගෙන් එක්කෙනෙක් නම්, (සීමොන් පෙත්රුස් ගේ සහෝදරවූ) ඇන්ඩ්රූය."
යොහාන් 1:38 - 40

යොහාන් බව්තිස්තගේ ගෝලයෙකු වූ අන්දෘව් එදා යේසුස් වහන්සේ පසු පස්සේ ගොස් උන්වහන්සේ සමග රැයක් ගත කල බව ඉහත සඳහන් බයිබල පදය විස්තර කරයි. නුමුත් එහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මුළු රැය යේසුස් වහන්සේ සමග ගත කිරීමෙන් අනතුරව, පසුදා උදෑසනම නැගිටසිටි අන්දෘව් කල ඊළඟ ක්‍රියාවයි.

මා මෙහිදී අන්දෘව් කළ ඒ ක්‍රියාව විශේෂ එකක් ලෙසින් සඳහන් කළේ, පසුදින උදෑසන, එනම් අඳුර නිවී එලිය වැටෙනවාත් සමග ඔහු කල පළමු ක්‍රියාව ගැනයි. යෝහන්ගේ පොතේ ඇති වාර්තාවලට අනුව උදේ පාන්දර ඉලිය වැටෙනවාත් සමග අන්දෘව් කල පළමු ක්‍රියාව ලෙසින් සටහන් වන්නේ, එලිය වැටුන සැනින් ඔහු ඔහුගේ සහෝදරයා සොයා ගිය බවයි.

"ඔහු පළමු කොට තමාගේ සහෝදරවූ සිමොන් දැක, අපට මෙසියස් වහන්සේ සම්භවිය යයි ඔහුට කිවේය.

ඊළඟට ඔහු කරණ ක්‍රියාව ලෙසින් බයිබලයේ වාර්තා වන්නේ, යේසුස් වහන්සේ මුණගැසීම නිසා ඒ රාත්‍රියේදී තමා අත්දුටු අළුත් අත්දැකීම තම සහෝදරයා වූ සිමොන් සමග බෙදා ගැනීමයි.

අන්දෘව්ගේ මේ ක්‍රියාව එතැනින්ද නතර නොවූ බවත් දැකිය හැක්කේ, ඒ උදේ පාන්දර අන්දෘව් තම සහෝදරයා වූ සීමොන්ව ඔහු සිටිය ඔහුගේ නිවසින් එලියට කැඳවාගෙන, යේසුස් වහන්සේ නැවතී සිටින ඒ ස්ථානය වෙතට ඔහුවද කැඳවාගෙන ගිය බවත් එහි සටහන් වී තිබීමයි. (තමා අත්දුටු ඒ අලුත් අත්දැකීම ඔහුටත් පෙන්නා දෙන පිණිස එසේ කල බව පැහැදිලි වෙයි. )

"ඔහු පළමු කොට තමාගේ සහෝදරවූ සිමොන් දැක, අපට මෙසියස් වහන්සේ සම්භවිය යයි ඔහුට කිවේය. ඉන්පසු ඔහු යේසුස් වහන්සේ ලඟට "සීමොන්" කැඳවාගෙන ආවේය."
-යොහාන් 1: 41 -42).

2. අන්දෘව් ගේ මේ ක්‍රියාව පෙන්වාදෙන්නේ ඔහු සියලු දේ බෙදාගෙන ජීවත්වීමට කැමතිවු මිනිසෙකු වුවා මිසක් කිසිවිටෙකත් තනිවම බදාගෙන ජීවත්වීමට අකමැති මිනිසෙකු වූ බවයි.

එදා ඔහු දැනගත් සත්‍යය ඔහු ලඟින් ඇසුරු කරන තම සහෝදරයා සමග බෙදාගත්තා පමණක් නොව නුමුත් ඒ උදෑසන තම සහෝදරයාවද යේසුස් වහන්සේ නැවතී සිටිය ඒ ස්ථානය වෙතට ඇදගෙන යාමට තරම් උනන්දුවක් ඔහු තුල අනෙක් අය ගැනත් තිබුන බවත් ඔහුගේ මේ ක්‍රියාවන් පෙන්වාදෙයි.

තම ගුරුවරයා වූ බව්තිස්ත තුමාගේ ඉල්ලීමට අනුව යේසුස් වහන්සේ පසු පස්සේ යෑමට කීකරුවූ මේ මිනිසා, ඒ රාත්‍රිය යේසුස් වහන්සේ සමග ගත කිරීමෙන් අනතුරව සැබවින්ම යේසුස් වහන්සේ පැමිණෙන්නට සිටින "මෙසායා" බව අවබෝධකර ගත සැණින් කළේ, උන්වහන්සේ සමග එහිම නතරවීම සිටීම නොව නුමුත් එලිය වැටුණු සැණින් තම සහෝදරයා සොයා ගොස් ඔහුවද ඒ ස්ථානයට උන්වහන්සේ මුණගැසෙන පිණිස කැඳවාගෙන ඇවිත් තම සහෝදරයාටත් තමා ලද ඒ අලුත් අත්දැකීම ලැබීමට කටයුතු කිරීමයි.

මෙසායා වූ යේසුස් වහන්සේ යොහාන් බව්තිස්ත තුමා තුලින් හඳුනා ගන්නට ලැබීමෙන් පසු ඒ මෙසායා සමග රැඳී සිටිමින් තම ජීවිතය ඒ මෙසයාගේ කැමැත්තට අනුව ගෝලයෙකු සේ ගොඩනගා ගන්නවා වෙනුවට ඔහු කරන්නේ, උන්වහන්සේව අනෙක් අයටත් හඳුන්වාදීමට උනන්දුවීම බව පෙනෙයි.

එදා එසේ මෙසායා වූ යේසුස් වහන්සේ හඳුන්වා දීමට සීමොන් පේත්රුස් වද යේසුස් වහන්සේ සිටි තැනට ම කැඳවාගෙන ගිය මේ මිනිසාගේ ජිවිතයේ ඊළඟ කොටස හැටියට බයිබලයේ අපි දකින්නේ; සීමොන් පේත්රුස් ගේ සහෝදරයා ලෙසින් පමණක් අන්දෘව්ව හඳුන්වාදෙන පිළිවෙලයි. එය උදාහරණ ඇතුව අපට අලුත් ගිවිසුමේ ඇති වාර්තා තුල දැකිය හැකියි.

යේසුස් වහන්සේගේ ගෝලයන් අතර පවා ඔහුව අන්දෘව් නමි හඳුන්වනවා වෙනුවට ඔහු ගැන ලියවී ඇති වාර්තා පෙන්වාදෙන්නේ, ඔහු සිමොන් පෙත්රුස් ගේ සහෝදරවූ අන්දෘව් යන නාමයෙන් බව පැහැදිලිවම පෙනෙයි. එයින් හැඟෙන්නේ ඔහු පේත්රුස් නමැති ඒ ප්‍රධාන ගෝලයාගේ සෙවනැල්ලට යටවී ඒ පිටුපසින් සිටින සාමාන්‍යය අන්දෘව් ලෙසින් බව පැහැදිලිව පෙනෙයි.

අවස්ථා කීපයකදී අන්දෘව් නමැති මේ මිනිසාගේ නම පවා බයිබලයේ වාර්තා වන්නේද , "සීමොන් පේතෘස්ගේ සහෝදරයා" ලෙසින් හෝ "පේතෘස්ගේ සහෝදරවූ අන්දෘව්" යන නාමයන් ගෙන් පමණි.

3.එසේ සිදුවුයේ කොහොමද?

ඇන්ඩ්රූ තුලින් මෙහි අපි දකින්නේ ඔහුගේ මුල් ගුරුවරයාවූ බව්තිස්ත තුමාගේ ගතිගුණයි. ඔහුගේ ගුරුතුමාගේ ආදර්ශයයි.

ඒ අනුව අන්දෘව් තම මුල් ගුරුවරයා වූ යොහාන් බවිතිස්ත තුමා ගේ ඉගැන්වීම අවංකව අනුගමනය කල සැබෑ ගෝලයෙකු බව පෙනෙයි. තම ගුරුවරයා මෙසියස් වහන්සේ වෙනුවෙන් ක්‍රියා කල ආකාරයෙන්, අනුන් ඉදිරයට දමා කටයුතු කිරීමේ ඒ ආදර්ශය එලෙසින්ම අන්දෘව් තුලින් ක්‍රියාවට නැංවෙන ආකාරය ඒ තුලින් දිස්වෙයි.

මේ ජිවිත රටාව පසු කලෙක යේසුස් වහන්සේ විසින් ගෝලකම වෙනුවෙන් කියාදුන් ඒ ඉගැන්වීමට සමවෙයි. . ඒ අනුව ඔහු දේව වචනයට අනුව විස්තරවන සැබෑ දේව සේවකයෙකු ගේ ගුණාංගවලින් පිරුණු මිනිසෙකු බවත් පැහැදිලිව පෙනෙයි. අවංක දේව සේවකයෙකුගේ හදවත ඔහු තුලින් මතුවෙයි.

4 . අන්දෘව් නායකයෙක් වීමට උත්සාහ කරනවා වෙනුවට කලේ දෙවියන්වහන්සේගේ සේවකයෙක් වී කටයුතු කිරීමයි.

අන්දෘව් නමැති මේ ගෝලයා එදා කළේ, පළමුවෙන්ම සත්‍යය අවබෝධකර ගැනීමයි. ඉන් පසු තමා දැනගත් ඒ සත්‍යය අත්දැකීම තමා වෙත පමණක් තබා නොගෙන අවස්තාව ලද සැණින් ඒ ගැන ඔහුගේ සගයන් සමග බෙදා ගැනීමයි. එතැනින් නතර නොවූ ඔහු කළ ඊළඟ ක්‍රියා වන්නේ, තමා ගැන නොසලකා ඔවුන් ඉහළට තල්ලු කිරීමේ ක්‍රියාවයි.

මේ ක්‍රියාවලියේදී අන්දෘව්ට තමාට හිමි තමාගේ මුල් පුටුව පවා තමාගෙන් අහිමිවී යෑමේ අවස්ථාවත් අත්දැකීමටද සිදුවුවත්, ගෝලයන් අතරේ නායකකම ආරක්ෂා කරගැනීමට රණ්ඩු වනවා වෙනුවට, ඔහු කරන්නේ , ඒ අලුත් නායකත්වයට විරුද්ධ නොවී එයට ගරුකරමින් ඒ පිටුපසින් සිට ඒ නායකත්වයටම උදවු දෙමින් තවදුරටත් ඒ සමාගමේම රැඳී සිටිමින් සතුටින් දේව සේවයේම නියැලී සිටීමයි.

5.ඇදහිලිවන්තයන් හැටියට අපත් අප එකිනෙකාගේ ඇතුලාන්තය දෙස අන්දෘව් නමැති ඒ ගෝලයාගේ ජිවිතයෙන් විහිදුණ ඒ ආදර්ශමත් ආලෝකය තුළින් සොයා බැලීම ප්‍රයෝජනවත් වන්නේ අපගේ ජිවිත හැඩගස්සා ගැනීමටයි. අද දින අපිත් ඒ වෙනුවෙන් අන්දෘව් නමැති ඒ ගෝලයාගේ ආදර්ශය අනුගමනය කිරීමට තීරණය කරන්නේ නම්, අපගේ ජිවිතත් දෙවියන්වහන්සේ ගේ කැමැත්ත සිදුවන සංධිස්ථානයක් බවට පත්වනු නොඅනුමානයි.

වර්තමාන ජනසමාජය දෙස බැලීමේදී පෙනෙන ආදර්ශය වන්නේ රැවටිලිකාර කම සහ බොරුව පෙරදැරිකර ගත් සමාජ සංස්කෘතියක් බව මෙහිදී විශේෂයෙන් පැවසීමට අවශ්‍යය නොවන්නේ, අපි සියලුදෙනාම එහි කොටස්කාරයන්ද වන නිසායි.

අප ජිවත්වන ජනසමාජය තුල විශේෂ සැලකිලි, නම්බුනාම, ප්‍රශිද්ධයට පත්වීම, ප්‍රධාන තැන, යන මේ දේවල් විශේෂයෙන් සලකනු ලැබුවත්, දේව සේවය තුල එවැනි දෑ විශේෂ නොවන්නේ; ක්‍රිස්තු ඇදහිල්ල තුළ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ කැමැත්ත මෙන්ම සැළැස්ම පමණක් වැදගත් වීමේ හේතුවයි.

එදිනෙදා ජීවිතයේදී පවා අප විසින් අපම උලුප්පා ගැනීමට දරණ එවැනි උත්සාහයන් හෝ ක්‍රියා කාරකම් දේව වචනයට පවා පටහැණි බවත් දේව වචනයේම සඳහන් වෙයි.

දෙවියන්වහන්සේට සේවය කිරීමේදී සමහරුන් ප්‍රශිද්ධියට පත්වීම සැබෑවකි. එසේම දේව සේවයේදී නායකත්වය ගෙන නායකයන්සේ කටයුතු කිරීමත් අවශ්‍යය කාර්යයකි. එය වරදක් යයි මම මෙහිදී නොකියමි. නුමුත් මෙහිදී ඇදහිලිවන්තයන් හැටියට අප එකිනෙකා අවබෝධයෙන් තේරුම් කරගත යුතු වැදගත් කාරණය වන්නේ, අප කුමක් කලත්, එය දේව කැමැත්තට අනුව කිරීමටත් වගබලා ගැනීමයි. සේවය හැටියට අප කුමක් කලත් එය දෙවියන්වහන්සේ වෙනුවෙන් මෙන්ම උන්වහන්සේට ගෞරවය හිමිවන ලෙසින් කිරීමයි.

වර්තමානයේ අප දකින බොහෝ ප්‍රශිද්ධ සේවාවන් මෙන්ම එවැනි ප්‍රසිද්ධ සේවාවන් පිටුපසින් සිටින ප්‍රශිද්ධ නායකයන්ගේ සාර්ථකත්වයට පවා බොහෝවිට මුල්ව ක්‍රියා කරන්නේ ඒ පිටුපස අප්‍රශිද්ධව ක්‍රියාකරණ අන්දෘව් වැනි සේවකයන් ගේ සේවය බව බොහෝවිට අප නොදැන සිටියත් අන්දෘව් වැනි සේවකයන් කෙරෙහි දෙවියන්වහන්සේගේ අවධානය සැමවිටම යොමුව තිබෙනා බවත් අප අමතක නොකළ යුතයි. එවැන්නන් අප්‍රසිද්ධ වූ සේවකයන් වුවත් දෙවියන්වහන්සේ ඉදිරියේ එවැන්නන් උතුම් වන්නේ, ඔවුන් දේව රාජ්‍යයේ මුලිකයන් වන නිසායි. අන්දෘව් ගේ ජීවිතය අපට ඒ ගැන උදාහරණ සපයයි.

ඒ ගැන යොහාන් බව්තිස්තගේම වචනයෙන් කියනවා නම්, "උන්වහන්සේ වැඩිවෙන්නටත් මා අඩුවෙන්නටත් ඕනෑය" යන අරමුණින් සහ පරමාර්ථයෙන් යුතුව අන්දෘව් ක්‍රියා කලාක් මෙන් අපත් ජීවත්වීමටත් සේවය කිරීමටත් අවශ්‍යය වන්නේ,

සේවය අපට අයිති එකක් නොව නුමුත් එය දෙවියන්වහන්සේට අයිති උන්වහන්සේගේ සේවයද වීමයි. අපිත් අන්දෘව් මෙන් ඒ දෙස ඒ ආකාරයෙන් බැලීමට ඉගෙන ගන්නේ නම්, මේ ලෝකයේ හෝ මිනිසුන් අතරේ කෙසේ වෙතත් උන්වන්සේගේ රාජ්‍යයේ උතුම් සේවකයන් වනු නොඅනුමානයි.

ප්‍රශිද්ධියට හෝ නායකත්වයට වඩා ඒවා පිටුපස සිටිමින් යේසුස් වහන්සේගේ සේවයේ පංගුකාරයෙකු ලෙසින් පමණක් ක්‍රියාකළ ඇන්ඩ්රූ නමැති ඒ ගෝලයා "සැබෑ දේව සේවකයෙකුගේ ආදර්ශය " පෙන්නුම් කරයි.

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2018 - darmadasa.org)